Wednesday, September 22, 2010

රටාවට පියාඹන කුරුල්ලනී


පෙළ ගැසී
වමින් වමට
දකුණින් දකුණට
සීරුවෙන් පසුපසින
උසින් උසට
ගැටෙන්නේ නැතිව පියාපත්
පෙරටුකරන් නායකයා
රටාවට
දුරින් දුරට
පියාඹන ශිල්පයේ
රහස කිමැයි
කියාපන්නේ කුරුල්ලනී


සටහන:
මේ නිර්මාණයට උපයෝගී කරගත්තේ කුරුළු ලෝකයේ දක්නට ඇති අපූර්වත්වයක්. තමන් ජීවත්වෙන ආවේණික පරිසරයට ශීත සෘතුව උදාවෙත්ම කුරුළු විශේෂ රංචු පිටින් උණුසුම් දේශගුණික කලාපවලට සංක්‍රමණය වෙනවා. මෙම ගමන බොහෝවිට සැතපුම් දහස් ගනනක්, ඒ සඳහා සොබාදහමින් ඔවුන්ට දායාදය කර ඇති බුද්ධිය හා ඥානය මොනතරම් උසස් ද?

කුරුළු කණ්ඩායමේ පෙරමුණ දරන පක්ෂියාගේ දෙපසින් පිළිවෙලට තටු සලන කුරුළු රෑන මොනතරම් නම් ලස්සනද? ඉදිරියෙන් පියාසර කරන කුරුල්ලාගේ වම් පසින් පටන් ගන්නා පේලියේ සෑම පක්ෂියෙකුම තමාට ඉදිරියෙන් පියාසර කරන්නාගේ වමින් වමට වෙන්නද ඒ විදියට ම දකුණු පැත්තේ පේලිය කුරුල්ලන් පෙරමුණෙන් පටන් දකුණි දකුණටත් විහිදී V-හැඩය සකසයි. පසුපසින් ගමන් කරන පක්ෂියා ඉදිරියෙන් පියාසර කරන්නාට ඉහලින් පිහිටන සේ පෙල ගැසේ. ඒ අන්දමට සැකසී තටු සැලීමෙන් ඇතිවන සුලං රැල්ලේ තෙරපුමෙන් පසුපසින් ගමන් කරන පක්ෂියාගේ තටු සැලීමේ දී වැය වෙන ශක්තිය අඩුවන බව සොයාගෙන ඇත. තවද තම ඉදිරියෙන් ගමන් කරන පක්ෂියා මොනයම් කරුණක් නිසා හෝ වෙහෙසට පත් වුවහොත් ඉදිරියට අවුදින් ඒ තැන හා හැඩය ආරක්ෂා කරගන්නට පිටුපසින් ගමනේ යෙදෙන පක්ෂීන් වහා ක්‍රියාකරයි. කුරුළු නඳ දෙමින් ඉදිරියේ ගමන් කරන පක්ෂියා දිරිගැන්වීමට පිටුපසින් ගමන් කරන්නන් උත්සුක වේ. ගමනේදී පක්ෂියෙක් තුවාල ලබයිද ඒ පක්ෂියා සමඟ තවත් පක්ෂීන් දෙදෙනෙකු පහතට බසින බවත් කියැවේ. පෙරමුණ හොබවන පක්ෂියා වෙහෙසට පත්වූ විට පසුබැස ඒ ස්ථානයට පසුපසින් ගමනේ යෙදෙන පක්ෂියා පත් කරයි. පෙරමුණේ දරණ පක්ෂියා නඩයේ ආරක්ෂාව, වේගය පාලනය ආදී නායකත්ව වගකීම් දරමින් නඩය හසුරුවයි.

කුරුළු රෑනට ඈතින් ඉඳන් බලන විට V-හැඩය දිස් වුවද නඩයේ සැමදෙනා තම ඉදිරි දසුන දිස්වෙන සේ කණ්ඩායම රකිමින් පියාසර කරයි.

රටාවට පියාඹන කුරුළු රෑන එකමුතුව, කණ්ඩායම් හැඟීම යන මහඟු ගුණාංග පිලිඹිබු කරමින් ආරක්ෂිතව සැතැපුම් දහස් ගානක් ඈත ඉලක්කයට පියාසර කරති. තවද තම පරිසරයේ දේශගුණික වෙනස ඇතිවෙද්දී පෙරලා ආපසු ඒමට සමත් වෙති.

8 comments:

  1. මාර ආසයි මාත් ඕක දිහා බලාගෙන ඉන්න...
    හරි පිළිවලට යන අපූරුව ඇත්තටම ලස්සනයි...

    ReplyDelete
  2. සොඳුරු හදවතක අරුමය...!

    සුන්දර වූ පුංචි පුංචි සිද්ධිදාම සිතිවිලි මවන අපූරුව..සැබවින්ම මට හැඟෙන දේ සඟවා අකුරු නොකර සිටීමට හරිම අපහසුයි සහෝදරයා...
    අපේ ගමේ තියෙන කැරකොප්පුව පුංචි කඳුගැටයක් මුදුනෙයි තියෙන්නෙ..ගම මැද්දෑවෙ තියෙන නිසා ගම්මානෙම පෙනෙනව බොහෝම අපූරුවට..අවමඟුල් පෙරහැරකට සහභාගීවුණු දවස්වලට කාංඩෙන් මිදිලා කැරකි කැරකි සිරි නරඹන එකයි මගේ කාරිය...හිතේ දුක්ඛ දායක පාළු හැඟීමක් තිබුණත් ඔය යාමයන් වල කුරුළු සමූහයා අහසේ මවන රටාවන් මට මේ දැනුත් හොඳට මතකයි...
    ඊයේ හවහ ස්වයංජාත ටෙලියෙ කොටහක් නැරඹුවා..පබලිනාහාමිගෙ ඉලව් ගෙදර වෙස්සන්තර ජාතකය කියවනවා අපූරුවට හිතේ රැඳුනා...ඉතිං ඒ හැඟීමෙන්ම උදැහැනැක්කෙ මේ අඩවියට ආහම ඔබතුමාගෙ නිර්මාණය දැකල මේ ටිකත් කියන්නමයි කියලයි හිත බල කලේ...

    ReplyDelete
  3. වී අකුරෙ හැඩේ පෙළ ගැහිලා පියාඹන කුරුල්ලන්ව ඉදිරියෙන් සිට බලන කෙනෙකුට පෙනෙන්නෙ පේළියට පියාඹනවා වගේ, ඒක ඒ ගොල්ලන්ගෙ ආරක්ශිත උපක්‍රමයක්, අනික ඒ විදිහට පියාඹනකොට විශේෂයෙන්ම නායකයාවත් , තමන්ට ඉදිරියෙන් පියාඹන කට්ටියවත් පේනවා,,මම නිවැරදිද ගල්මල් අයියේ?

    ReplyDelete
  4. @චමිදේවා:
    සොබාදහමේ සුන්දරත්වය...
    බොහෝම ස්තුතියි මල්ලී සටහනට.

    ReplyDelete
  5. @ඇනෝ:
    මේ විශ්වය මොනතරම් නම් ආශ්චර්යයන් ගෙන් පිරිලා තියෙනවද. ඒ තුල ජීවත් වෙන හැම සජීවි ඒකකයකටම පරිසරයක් ඒ පරිසරය ජයගන්න බුද්ධියත් දායාදය කරලා තියෙන්නේ අපූරුවට. මේ කුරුළු රෑන පිලිබඳව දසුන හරිම ලස්සනයි. ඊටත් වඩා ලොකු කතාවක් ඒ රෑනේ රටාවතුල පිහිටා තියෙනවා. එය මගේ රැකියාවට අදාල කණ්ඩායම් ගොඩනැගීම් කටයුතු වලදී ගොඩාක් පාවිච්චි කරනවා.

    මිනිසුන් වූ අපිත් ඒ කුරුල්ලන් තරම් සරළ වෙන්න ඇත්නම්...

    බොහෝම ස්තුතියි යාළු අගනා සටහනට.

    ReplyDelete
  6. @හරී:
    ඔව් නංගී ඒකයි කුරුළු රෑනේ පියාඹන රටාවේ රහස, ඊට අමතරව ඒ හැඩය නිසා පියාඹන්න උවමනා කරන ශක්තිය/වෙහෙස අඩුවෙන බවයි විද්වතුන් සොයාගෙන ඇත්තේ. ඒ සම්බන්ධ විස්තරයත් පසුව එකතු කලා.

    රැකියාවට අදාල කණ්ඩායම් ගොඩනැගීම් කටයුතු වලදී ගොඩාක් පාවිච්චි කරනවා මේ කුරුලු රෑනේ කතාව.

    බොහෝම ස්තුතියි නංගී අගනා සටහනට.

    ReplyDelete
  7. ස්වභාව දහම මිනිස් ජීවිත එක්ක බැඳුනු තැන් බොහොමයි.. බොහොම ස්තූතියි අයියෙ... ‍අළුත් බ්ලොග් කරුවන් වෙනුවෙන් මේ දක්වන සහයෝගයට..
    අපි එකම රෑනෙ කුරුල්ලෝ.. :)

    ReplyDelete
  8. @නන්දු:
    සොබාදහම ලොකු කුඩා හැම සත්වයාටම අපූරු දායාදයන් ගොඩාක් දීලා තියෙනවා. මනුසත් අපිට ඉන් ඉගෙන ගන්න දෑ බොහෝය.

    බොහෝම ස්තුතියි නන්දු සටහනට.

    ReplyDelete